5 වසර සමත් සිසුන් 460 දෙනෙකුට උසස් පෙළ දක්වා ශිෂ්‍යත්ව ලබාදීමට ගංගාරාම අරමුදලෙන් පියවර
ශිෂ්‍යත්ව ප්රදානය සහ ගංගාරාම මෙහෙවර
අධ්‍යාපනය යනු සෑම දරුවෙකුටම හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් මිසක් කිසිසේත්ම වරප්‍රසාදයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති අති පූජ්‍ය ගල්බොඩ සිරි ඥානිස්සර හිමි අනුස්මරණ “නැණ ඉසුර – 2026” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
අරලියගහ මන්දිරයේදී පැවැති මෙම උත්සවයේදී 2025 වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු දරු දැරියන් 460 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කෙරුණු අතර, එම මුල්‍ය සහනය අදාළ දරුවන්ගේ උසස් පෙළ අධ්‍යාපනය අවසන් වන තෙක් ලබා දීමට නියමිතය. අපවත්වී වදාළ ගල්බොඩ සිරි ඥානිස්සර “පොඩි හාමුදුරුවන්” වෘත්තීය අධ්‍යාපනය, තරුණ සංවර්ධනය සහ ළමා සුබසාධනය වෙනුවෙන් සිදුකළ අනුපමේය මෙහෙවර අගය කළ අග්‍රාමාත්‍යවරිය, එම අනාගතවාදී දර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන රජයේ අධ්‍යාපනික ඉලක්කයන්ට ද විශාල පිටුවහලක් වන බව සඳහන් කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ප්‍රායෝගික පරිසරය
වත්මන් රජය අධ්‍යාපන ක්ෂේත්රයේ නව පුනරුදයක් ඇතිකිරීම සඳහා කැපවී සිටින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දැනට පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනුවට දරුවාගේ කුසලතා, නිරීක්ෂණ ශක්තිය සහ සිතීමේ හැකියාව වර්ධනය වන ප්‍රායෝගික අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව පැහැදිලි කළාය. පොතපතට පමණක් සීමා නොවී රටට අවශ්‍ය යහපත් ආකල්ප සහ භාවිතාවන් සහිත පරපුරක් බිහි කිරීම සඳහා විෂය මාලාවන් යාවත්කාලීන කරමින් පවතින බව ද ඇය සඳහන් කළාය.
එමෙන්ම ග්‍රාමීය සහ නාගරික පාසල් අතර පවතින යටිතල පහසුකම් සහ ගුරු හිඟයේ පරතරය අවම කිරීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන්කර ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, පාසල් දිවා ආහාර වේල, පෙළපොත් සහ උපකරණ ලබාදීමේ වැඩසටහන් හරහා ආර්ථික අපහසුතා නිසා කිසිදු දරුවෙකුට අධ්‍යාපනය අතහැර යාමට සිදු නොවන පසුබිමක් සකසන බව තහවුරු කළාය.
ක්ෂේත්රයේ නියෝජනය සහ අනාගත අපේක්ෂා
මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි සංවිධානය වූ මෙම අවස්ථාවට සියම් මහා නිකායේ මහා නායක හිමියන් ප්‍රධාන මල්වතු අස්ගිරි අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, තානාපතිවරුන් සහ සිසු දරු දැරියන්ගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
දරුවන් වෙත පිරිනමන ලද මෙම ශිෂ්‍යත්වය හුදෙක් ද්‍රව්‍යමය උපකාරයකට එහා ගිය සමස්ත සමාජයේම විශ්වාසය සංකේතවත් කිරීමක් බවත්, අභියෝග හමුවේ නොසැලී අධ්‍යාපනයෙන් සන්නද්ධව යහපත් පුරවැසියන් ලෙස රට ගොඩනැගීමට දායක වන ලෙසත් අග්‍රාමාත්‍යවරිය සිසුන්ගෙන් ඉල්ලා සිටියාය.
